Powered By Blogger

Monday, November 26, 2012

Sri Lanka's first satellite

ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව අද උඩු ගුවනට (2012/11/27)



අහිතකර කාලගුණ තත්වය සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් නොවැම්බර් 22 දා ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වූ ශ්‍රී ලංකවේ ප්‍රථම චන්ද්‍රිකාව අද මුදා හැරීමට නියමිත බව වාර්තා වෙයි

සුප්‍රීම් සැට්‌ සමාගමේ සභාපති ආර්. එම්. මනිවත්තන් මහතා මෙම චන්ද්‍රිකාව පිළිබඳව පවසන්නේ මෙවැන්නක්

චීනය සමග ඔබේ පවතින හවුල් ව්‍යාපාර තත්ත්වය පැහැදිලි කරන්න

අප විසින් ප්‍රථමයෙන්ම සැලසුම් කර, නිෂ්පාදනය කර අපට අයිතිය සතු චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කිරීමට උත්සාහ කරද්දී කිසිම බටහිර රටක්‌ අපව එතරම් ගණන් ගත්තේ නැහැ. අප ප්‍රාග්ධනය සහ ස්‌ථිර සැලැස්‌ම අතැතිව සිටියත් අපට අවශ්‍ය තාක්‍ෂණ අපට ලබාදීමට කැමති කෙනෙකු සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවක්‌ වුණා.

මෙන්න මෙවැනි කටුක අවස්‌ථාවකදී තමයි චීනයේ රාජ්‍යය සතු චයිනා ග්‍රේට්වෝල් ඉන්ඩස්‌ට්‍රීස්‌ කෝපරේෂන් හමුවන්නේ. ඒ මොහොතේ සිට අඛණ්‌ඩව සිදුවෙමින් පවතින්නේ අසමසම ව්‍යාප්තියක්‌. අපගේ හවුල් ව්‍යාපාරය ශක්‌තියෙන් ශක්‌තියට පත්වෙනවා. ඊට ප්‍රධාන හේතුව චීන පාර්ශ්වයේ ප්‍රබල සහයෝගයයි. මෙලෙස කඩිනමින් වැඩකටයුතු ඉටුකරමින් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ දක්‍ෂතාවය එම සහයෝගයේ වැදගත් ප්‍රතිඵලයයි.

රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ බිහිවුණු නියම දක්‍ෂයෙක්‌. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව රෝහිත රාජපක්‍ෂ මහතාගේ කාර්ය භාරය කුමක්‌ද?

රෝහිත රාජපක්‍ෂ මහතා පිළිබඳව කතා නොකළහොත් මෙම ව්‍යාපෘතියේ ලොකු අඩුවක්‌. මම ඉතා ආඩම්බරයෙන් පවසනවා. රෝහිත රාජපක්‍ෂ කියන්නේ මේ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ බිහිවුණු අති දක්‍ෂයෙක්‌ බව. මෙය අපේ දේශීය අභ්‍යවකාශ ක්‍ෂේත්‍ර විශේෂඥයන්ගේ මතය පමණක්‌ නොව අප සමග කටයුතු කරන විදේශ විශේෂඥයන්ගේද මතයයි. ඔහු තමන්ගේ පෞද්ගලික ඉලක්‌ක අමතක කර අපගේ මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය කෙරෙහි විශාල දායකත්වයක්‌ කැප කළා.

කවුරුත් දන්නා පරිදි අභ්‍යවකාශ ක්‍ෂේත්‍රය පිළිබඳ සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන් සිටින්නේ ඉතාම සුළු පිරිසක්‌. එනිසා ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීම අපේ වාසනාවක්‌ සහ එතුළින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව නිපදවා අභ්‍යවකාශගත කිරීමේ ප්‍රයත්නයේදී ප්‍රමුඛපෙළේ දායකත්වයක්‌ සැපයීමට ඔහු එකඟවීම මෙන්ම එහි සාර්ථකත්වය තුළින් ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ නව දොරටු විවරවීම අපේ රටට ඉතා වාසිදායක තත්ත්වයක්‌. ඔහුගේ උසස්‌ අධ්‍යාපන කටයුතු තාවකාලිකව කල්දමා අපේ මේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයාදෙන ලෙසට මා කළ කාරුණික ඉල්ලීමට ගෞරවකරමින් අපට සහයෝගය ලබාදීමට තම කාලය කැප කිරීමට ඔහු තීරණය කිරීම මා සිහිපත් කරන්නේ ඉමහත් සෙනෙහසිනි.

අපගේ මෙම දැවැන්ත ව්‍යාපෘතියට ඔහු ලබාදෙන අගනා දායකත්වය මා ඉතාම ඉහළින් අගය කරන අතර අනාගතයේදී ද ඔහුගේ සුවිශේෂී දායකත්වය සහ මග පෙන්වීම තවදුරටත් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

ඔබේ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට වාසිදායක වන්නේ කෙසේද?

මේ තුළින් සැලසෙන ආර්ථික සහ තාක්‍ෂණික වාසි පිළිබඳ කතා කිරීමට පෙර මා කැමතියි. මෙතුළින් ප්‍රථමයෙන් හුවාදක්‌වන පණිවුඩය ගැන ශ්‍රී ලාංකික සියල්ලටම කතා කරන්න. "ඔව් අපට පුළුවන්" "අපටත් කළ නොහැක්‌කක්‌ නැත" යන අභීත පණිවුඩයයි එය. දේශයක්‌ හැටියට අතීතයේදී අප අසමසම පුදුම සහගත දේවල් නිර්මාණය කරල තියෙනවා. එනිසා ශ්‍රී ලංකාව නවීන ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම සැබවින්ම සිදුකළ හැක්‌කක්‌. අපගේ ජාතික ධජය සාඩම්බර ලීලාවෙන් අභ්‍යවකාශගත වන අයුරු බලන්න.

මේ අසිරිමත් දර්ශනය අපේ සියලු අතීත අඩුපාඩුකම් උදාසීනකම් අකාමකා දැමිය යුතුය. මේ ලබා ගත්තා වූ සාර්ථකත්වය මත සෞභාග්‍යමත් අනාගතය ගොඩනඟමු. අප සතුව ස්‌ථාවර දේශයක්‌ සහ එඩිතර නායකත්වයක්‌ තිබෙනවා. දේශයේ පිහිටීම සහ ජන සමූහය අපේ වාසියට යොදා ගනිමු. මේ සියල්ල නිසි පරිදි ඒකරාශීකර මව්බිමෙන් අප ලබන නිදහස්‌ අධ්‍යාපනයට, නිදහස්‌ සෞඛ්‍ය සේවාවට පෙරළා සුභවාදී ප්‍රතිචාර දක්‌වමින් අපේ දේශයට සාධාරණය ඉටුකරමු.

අනෙකුත් වාසි ගැන කතා කිරීමේදී ආර්ථික වශයෙන් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අති නවීන ක්‍ෂේත්‍රයක්‌ නිර්මාණය වෙනවා. අභ්‍යවකාශ ක්‍ෂේත්‍රය මෙය ඉදිරි වසර 3-5 කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 320 ක ආදායමක්‌ උපයනු ඇත. මීට අමතරව මෙය විදේශ විනිමය උපයන මාර්ගයක්‌ද වන අතර අති නවීන තාක්‍ෂණගත රැකියා රැසක්‌ උත්පාදනය කරනු ඇත. අවසානයේදී මෙය තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට අවස්‌ථාව සලසා දෙන අතර මෙම ක්‍ෂේත්‍රයට පිවිසීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම සහ වෘත්තීමය අවස්‌ථා උදාකර දෙනු ඇත.

මේ චන්ද්‍රිකාව නිපදවන්නේ සහ අභ්‍යවකාශගත කරන්නේ කොහේද?

අපේ ප්‍රථම චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ප්‍රංශයේ තේල්ස්‌ වන අතර එය චීනයේ "ලොන්ග් මාර්ච්" නම්වූ වාහනයේ සිට 2012.11.22 දින චීනයේ සීවෑන්ග් විහිදුම් මධ්‍යස්‌ථානයේදී අභ්‍යවකාශගත කෙරෙනු ඇත. මෙය අප සහ චීනයේ චයිනා සැටලයිට්‌ කොමියුනිකේෂන්ස්‌ කොම්පැණි ලිමිටඩ් නම් වූ චීන රජය සතු සුවිශාල චන්ද්‍රිකා අලෙවිකරණ සමාගමක ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌.

චීනයෙන් අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකාව ඔබ පාලනය කරන්නේ කෙසේද?

අප දැනටමත් මහනුවර පල්ලෙකැලේහි චන්ද්‍රිකා පාලන මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපනය කරමින් සිටිනවා. අපේ මේ චන්ද්‍රිකාවෙන් පණිවුඩ ලැබෙන්නේ 2013 ජුනි මාසයේ සිටයි. ඒ වන විට අපේ පල්ලෙකැලේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්‌ වටිනා මධ්‍යස්‌ථානය සම්පූර්ණ වී ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙනු නියතයි. අප විසින් මෙම මධ්‍යස්‌ථානය අපේ චන්ද්‍රිකාව පාලනය සඳහා යොදා ගන්නා අතරම මෙම ක්‍ෂේත්‍රයට අදාළව "රැකියාවේ නියෑලෙමින් පුහුණුව" ලබාදීමට අවස්‌ථාවද ලබා දෙන්නෙමු. එනිසා මෙම මධ්‍යස්‌ථානය ශ්‍රී ලාංකිකයන්ට අභ්‍යවකාශ තාක්‍ෂණය මෙහිදී හුරු පුරුදු වීමට කදිම පිටිවහලක්‌ වනු ඒකාන්තය.

අපට ශ්‍රී ලංකාවේදීම චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කරන්න නොහැකි ඇයි?

චන්ද්‍රිකා අභ්‍යවකාශගතකරන මධ්‍යස්‌ථාන යනු ඇමරිකානු ඩොලර් බිලියන ගණන් වියදම්වන කටයුත්තක්‌. එනිසා එක චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කිරීම සඳහා පමණක්‌ එවැනි මධ්‍යස්‌ථානයකට වියදම් කිරීම තේරුමක්‌ නැති නිශ්ඵල වැඩක්‌. සමස්‌ත ලෝකයේම එවැනි මධ්‍යස්‌ථාන තිබෙන්නේ අතළොස්‌සයි. එසේ වුවත් ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව මේ රට චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමට ඉතා සුදුසු ස්‌ථානයක්‌. එනිසා මතු යම්කිසි දවසක රජය අපට එවැනි මධ්‍යස්‌ථානයක්‌ සෑදීමට යෝජනා කළහොත් අපි ඉතා සතුටින් එම අතිශය දැවැන්ත භාරදූර කාර්යයට යොමු වීමට සූදානම්.

චන්ද්‍රිකාවක්‌ විසින් ලබාදෙන්නේ කුමන ආකාරයේ සේවාවක්‌ද?

අපේ ප්‍රථම චන්ද්‍රිකාව විසින් ලබා දෙන්නේ DTH හෙවත් සෘජුව නිවසටම චන්ද්‍රිකා මගින් රූපවාහිනි දර්ශන ලබාදීමේ සේවයයි. මෙයට හේතුව අපේ චන්ද්‍රිකාවේ අප සතුව ඇත්තේ KU transponders හෙවත් සම්ප්‍රේෂ ප්‍රතිචාරක නිසාය. මෙය මෙම කලාපය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන අංශයකි. HD ලෙස හැඳින්වෙන නවීන තාක්‍ෂණය හඳුන්වාදීම තුළින් මෙම වේගය තවත් තීව්‍ර වනු ඇත. එනිසා අපේ චන්ද්‍රිකාවේ ඉඩකඩ ලබා ගැනීමට ඉල්ලුම් රාශියක්‌ දැනටමත් අප වෙත ලැබී තිබෙනවා.

සැපයුම අභිබවා ඉල්ලුම තිබෙන වග සත්‍යයක්‌. අපගේ සම සන්නාමගත සහ අනාගත චන්ද්‍රිකා වෙතින් ලබාදිය හැකි සේවාවන් පිළිබඳ පැවසිය හැක්‌කේ පෙරකී DTH සේවයට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන Video Applications ලෙස සැලකෙන Broadcasting සහ Event Uplinking මෙන්ම Broadband සේවා ගණයට අඩංගු Backbone Connectivity සහ Broadband
Internet Access සහ Telecommunications Applications ලෙස සැලකෙන VSAT හා Enterprise Networks යනාදිය සැපයේ.

අනාගතය පිළිබඳව ඔබගේ සැළසුම් මොනවාද?

ඔබ දන්නා පරිදි දැනටමත් අප සතුව සම සන්නාමගත චන්ද්‍රිකාවක්‌ තිබෙනවා. 22.11.2012 සිදුවන අපගේ ප්‍රථම චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමෙන් පසු තවත් එක්‌ ඒකාබද්ධ අභ්‍යවකාශගත කිරීමක්‌ 2013 ජුනි මාසයේදී සිදුකිරීමට නියමිතයි. අපේම චන්ද්‍රිකාවක්‌ 2015 දෙසැම්බර් මස අභ්‍යවකාශගත කිරීම සිදුකෙරෙනු ඇත. මීට අමතරව, අපේ පල්ලෙකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්‌ථාන විද්‍යාලය වැඩිදියුණු කර ජාත්‍යන්තර තත්ත්වයේ Teleport ලෙසින් හැඳින්වෙන නවීන සන්නිවේදන තොටුපළක්‌ බවට එය පත්කර ශ්‍රී ලංකාව අති නවීන තාක්‍ෂණ ලොව අඛණ්‌ඩව දියුණුවට පත් කිරීමට කටයුතු යොදන්නෙමු.

අපි දැනටත් වෙනත් රටවල් ගණනාවක්‌ සමග මෙම නවීන තාක්‍ෂණය සමග වාණිජමය අයුරින් කටයුතු කිරීමට සාකච්ඡා පවත්වනවා. ඇෆ්ගනිස්‌ථානය ඒ අතුරින් ප්‍රමුඛයි. එහි අරමුණ එම රට සමග ඒකාබද්ධ කටයුතුවල නිරතවීමේ හැකියාව සොයා බැලීම සඳහා වන අතරම අපේ සුප්‍රිම් සැට්‌ සන්නාමය සැබැවින්ම ජාත්‍යන්තර තත්ත්වයේ චන්ද්‍රිකා සමාගමක්‌ බවට පත් කිරීමයි.

අප සිදුකරන මේ සියලු කාර්යයන් තුළින් අපේ සහෝදර ජනතාව සහ නායකයන් උද්යෝගීමත් කිරීම අපි අපේක්‍ෂා කරනවා. අපේ සියලු කාර්යයන්හි හරය අපේ දේශය සාඩම්බර රටක්‌ බවට පත් කිරීමයි. එහි ප්‍රථම අදියර අපේ මෙම ප්‍රථම චන්ද්‍රිකාව සමග අප සාර්ථකව ඉටුකර තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උදාර නායකත්වය යටතේ සහ රෝහිත රාජපක්‍ෂ මහතාගේ තාක්‍ෂණික මග පෙන්වීමේ සහයෝගීත්වයෙන් අපි අඛණ්‌ඩව ව්‍යාප්තවීම සිදුකරන්නේ ශ්‍රී ලංකාව එතුළින් පෙර නොවූවිරූ ඉහළ ස්‌ථානයකට ඒ සමගම ඔසවා තබමිනි.








Source : http://www.facebook.com/photo.php?fbid=495890540445858&set=a.394889130546000.96481.394867817214798&type=1